බලාපොරොත්තුව..

හෙට තාක්ෂණය අද ඔබේ අතට....



Saturday, March 6, 2010

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ....(02 කොටස)

අද මම කියන්න යන්නේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තියන මූලික අවයව(Elements) ගැන. ඒ මූලික එලිමන්ට් තමයි ලොජික් ගේට් (Logic Gates) කියල කියන්නෙ. මූලික ලොජික් ගේට් වර්ග තුනක් තියනව. ඒ තමයි.
  1. AND Gate
  2. OR Gate
  3. NOT Gate(Inverter)

මේවට සිංහල නම් මම දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ට් එකක් දාන්න. මේ ලොජික් ගේට් වලින් කරන්නෙ අපි Input කරන දත්ත එම ගේට් එකට අවේනික ක්‍රමයකට සකස් කරල ප්‍රතිපලයක් ලබා දෙන එක. ඒක ගැන ඉදිරියෙදි තව දුරටත් විස්තර සඳහන් කරන්නම්.

ලොජික් ගේට් එකක Inputs සහ Outputs තියනව. ඉන්පුට්ස් කියන්නෙ ලොජික් ගේට් එකට අපි ලබා දෙන විදුලි සඥ්ඥාව. Output කියන්නෙ අපි ලබා දෙන සඥ්ඥාවට ලොජික් ගේට් එක ලබා දෙන ප්‍රතිචාරය. ඇන්ඩ් හා ඕර් ගේට් වලට ඉන්පුට්ස් දෙකක් හෝ දෙකකට වැඩිය තියෙන්න පුළුවන්. ඒත් නොට් ගේට් එකට තියෙන්නේ එක ඉන්පුට් එකක් විතරයි. ඕනම ලොජික් ගේට් එකක තියෙන්නෙ එක අවුට්පුට් එකක් විතරයි. ලොජික් ගේට් එකකට ලබා දෙන්න පුළුවන් එකිනෙකට වෙනස් Inputs රටාවල් සහ එම ඉන්පුට් වලට ලොජික් ගේට් එක ලබා දෙන අවුට්පුට් එක දක්වන වගුවකුත් අපට හදන්න පුළුවන්. ඒ වගේ සකස් කරපු වගුවකට කියන්නෙ Truth Table සත්‍යාතා සටහන නැත්නම් සත්‍යතා වගුව කියල. කොහොම උනත් මේ ලිපියෙන් මම අදහස් කරේ ලොජික් ගෙට්ස් ගැන දළ දවබෝධයක් ලබා දෙන්න. මීලඟ ලිපියෙදි බලමු ඇන්ඩ් ගේට් එක ගැන ඉගෙන ගන්න.

Friday, March 5, 2010

යන්සය නැති යුනිකෝඩ් ....

යන්සය නැති යුනිකෝඩ් වලින් ලියන එක හරියට කොක්ක නැති තාච්චියක බිත්තර බදිනව වගෙ වැඩක්නේ

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ......(01 කොටස)

100% ක ගේම ප්‍රතිචාරය තිබුනේ මේ මාතෘකාව ලියන එක ගොඩක්ම ප්‍රයෝජනවත් කියන එකයි. ඒක නිසා ඔන්න මම ලියන්න පටන් ගත්ත. මම මේ ලිපි පෙළ අපහසුතා රැසක් මැද උනත් ලියන්න ගත්ත හේතුව මුලින්ම කියන්න ඕන.

ඒ 1993 වර්ෂය. මට ලොකු ආසාවක් තිබුන සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ගැන ඉගෙන ගන්න. ඒත් ඒ ගැන දන්න කිසිම කෙනෙක් හොයාගන්න මට බැරි උනා. මම යන්තම් O/L ගොඩදාගෙන නිකංම නිකං ගෙදරට වෙලා හිටපු කාලෙ තමයි ඒ. මෙහෙම විෂයක් තිබෙන බවවත් මම දැනගත්තෙ සිප්ණැන කියන සඟරාවෙ තිබුන ලිපියක් දැකල. අන්තිමට මම තීරණය කළා සිප්ණැන සඟරාවෙන්ම ගොඩ යන්න. ඉතිං මම දන්න වැඩ‍ සේරම දාල පරණ සිප්ණැන සඟරා එකතු කරන්න පටන් ගත්ත. මම සිප්ණැන ට කලින් ආව සෙනිත් කියන සඟරාවත් එකතු කර ගත්ත. කොහොම හරි කොල්ලට (කොල්ල කිව්වෙ ඒ කාලෙ) පිළිවලින් කළාප අංක 01 ඉඳල මතකයේ හැටියට 53 වෙනකම් සඟරා එකතු කර ගන්න පුළුවන් උනා. ඒ සඟරාවට යෝකිම් බයර් කියල ජපනෙක් තමයි ඒ ලිපි පෙළ ලිව්වෙ. මම දන්න හරියෙ මූලික අඩිතාලම දාගන්න උපකාර උනේ ඒ යෝකිම් බයර් කියන ජපන් මහත්ත. ඒක නිසා එයත් සිහිකරලම වැඩේ පටන් ගන්නයි මේ යන්නෙ. මේ හදන්නෙ මොලේ බාගයක් ගෙවෙනකම් කල්පනා කරල ඉගෙන ගත්ත දේ ඔයාලටත් බෙදා දෙන්න. ඒකට ඔයාලගෙ සහයෝගයත් මට දෙනවනම් වැඩේ මල් හතට කරන්න පුළුවන්.

විභව අන්තරය
අපි හය, හත, අට, නමය, දහය, එකොලහ පන්ති වලදි ඉගෙන ගන්නව පරමාණුව කියල එකක් ගැන. මූලද්‍රව්‍ය හැදිල තියෙන්නේ පරමාණු කියන සියුම් ඒකකයකින්. පරමාණුවෙ මැද කොටස නැත්නම් න්‍යශ්ඨිය ප්‍රෝටෝන හා නියුට්‍රෝන වලින් හැදිල තියනවා. ඒ වටේට චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන නම් උප පරමාණුක අංශු වර්ගයක් තියනවා. යම්කිසි ද්‍රව්‍යයක පරමාණු වල තියන ඉලෙක්ට්‍රෝන වලින් කොටසක් ඒ ද්‍රව්‍යයේ එක් කොනකට තල්ලු කරගත්තොත් ඒ කොනේ තියන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනිත් කොනට සාපේක්ෂව වැඩි වෙන නිසා ඒ කොනේ ඉලෙක්ට්‍රෝන පීඩනයක් ඇති වෙනවා.(හරියට වතුර ටැංකියක තියන වතුර එක් කොනකට තල්ලු කළා වගේ වැඩක්.) ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තෙ වැඩිපුර තියන ඉලෙක්ට්‍රෝන, ඉලෙක්ට්‍රෝන අඩු පැත්තට යන්න උත්සාහයක් දරණවා. මේ උත්සාහය විද්‍යාවෙදි විද්යුත් ගාමක බලය කියල හඳුන්වනවා. ඒක මනින්නෙ වෝල්ට්(V) කියන ඒකකයෙන්. සාමාන්‍ය බැටරි කෑල්ලක (වියලිකෝෂයක) විද්‍යුත් ගාමක බලය 1.5 V වෙනවා.

ධාරාව
මෙහෙම විද්‍යුත් ගාමක බලයක් ඇති වෙන්නෙ ඉලෙක්ට්‍රෝන පීඩන වල වෙනසක් නිසා. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් තියන තැන් දෙකක් විද්යුත් සන්නායකයකින් (විදුලියට ගමන් කළ හැකි ද්‍රව්‍යකින්) එකට සම්බන්ධ කරහම ඒ සන්නායකය හරහා පීඩනය වැඩි පැත්තෙ ඉඳල පීඩනය අඩු පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනව. හරියට අර කලිං කියපු ටැංකියෙ කොන් දෙක සම්බන්ධ කරල බටයක් හයි කරහම වතුර මට්ටම උසින් වැඩි කොනේ ඉඳල වතුර මට්ටම උසින් අඩු කොනට බටය දිගේ වතුර යනව වගේ. මේ විදියට ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරන කොට එයට විරුද්ධ අතට සම්මත විද්‍යුත් ධාරාව ගලනවයි කියල තමයි විද්‍යාවෙදි පිළිගන්නෙ. හැබැයි මේ සම්මත විද්‍යුත් ධාරාවෙ ප්‍රමාණය අර කියපු ඉලෙක්ට්‍රෝන ධාරාවෙ ප්‍රමාණයට සමානයි කියලත් පිළිගන්නව. මේ කියන විද්‍යුත් ධාරාව මනින්න විද්‍යාවෙදි ඇම්පියර් (A)කියන ඒකකය භාවිතා කරනව.

ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
මම මේ ටික ලිව්වෙ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිපඳ හඳුන්වා දෙන්න. ඉලෙක්ට්‍රොනික් විද්‍යාව කියල කියන්නෙ මම අර කලිං කියපු ඉලෙක්ට්‍රෝන පීඩන වෙනසක් නිසා ඇති වන විද්යුත් ධාරාව අපට ඕන විදියට පාලනය කරන්න ඉගෙන ගන්න විද්‍යාව. වතුර බටයක වතුර ගැලීම පාලනය කරන්න බෙන්ඩ් වර්ග, වෑල් වර්ග දානව වගේ පරිපතයක (සන්නායක කම්බියක හෝ කම්බි ජාලයක) විදුලි ධාරාව ගැලීම පාලනය කරන්නත් ප්‍රධාන උපාංග කිහිපයක් භාවිතා වෙනව. ඒ තමයි ප්‍රතිරෝධක, ධාරිත්‍රක, අර්ධ සන්නායක ආදිය.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව
සාමාන්‍ය විදුලි පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය 0 ත් අනන්තයත් අතර ඕනෑම අගයක් ගන්න පුළුවන්. එහෙත් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපතයක යම් ලක්ෂයක තිබියහැකි විභව අන්තරය අවස්ථා දෙකකට පමණක් සීමා වෙනව. ඒ කියන්නෙ අතරමැදි අවස්ථා පිහිටන්නෙ නෑ. බොහො විට මේ අගයන් දෙක 0 හා +5 වෙනවා. මේ විදියට විභව අන්තරයේ පිහිටීම අගයන් දෙකකට පමණක් සීමා කරන්නෙ ගණිතයත් එක්ක එවන් පරිපතයක් සම්බන්ධ කරන්න පහසු වීම නිසා.

බූලියන් ගණිතය
අප කුඩා කළ සිටන් ඉගෙන ගන්නෙ සමාන්‍ය අංක ගණිතය. ඒ ගණිත ක්‍රමයෙදී 0,1,2,3,4,5,6,7,8,9 කියන සංකේත 10 ක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කිරීමටත් ඔනෑම ගණිත කර්මයක් සළු කිරීමටත් අපට පුළුවන්. එහෙත් බූලියන් ගණිතය කියන්නෙ 0 හා 1 කියන සංකේත දෙක පමණක් භාවිතා කරල ඕනම සංඛ්‍යාවක් නිරෑපනය කරන්නත්, ගණිතකර්ම කරන්නත් පුළුවන් වෙන විදියෙ ගණීත ක්‍රමයකට. මම මේ අවස්ථාවෙදි බූලියන් ගණිතය ගැන වැඩි දුර කතා කරන්නෙ නෑ. හැබැයි සං. ඉ. වි. ඉගෙන ගන්නවනම් අනිවාර්යෙන්ම බූලියන් ගණිතය ගැන ඉගෙන ගන්න වෙනව. අවශ්‍ය වෙලාවට මම ඒ ගැන කතා කරන්නම්.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හා බූලියන් ගණිතය
මම කිලින් කිව් විදියට බූලියන් ගණිත ක්‍රමයෙදි භාවිතා කරන්නෙ සංකේත දෙකයි. ඒ 0 සහ 1. ඒ වගේම සං. ඉ. විද්‍යාවෙදි පරිපතයක තියෙන්න පුළුවන් විභව අන්තරයන් දෙකයි. ඒ 0 V හෝ 5 V. ඉතිං මේ සම්බන්ධතා දෙක නිසා බූලියන් ගණිතයේ එන ඔනෑම දත්තයක් මේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ තියන විදුලිය ඇති (5 V ) හා විදුලිය නැති (0 V) යන අවස්ථා දෙකින් නිරෑපනය කරන්න පුළුවන්. එසේම බූලියන් ගණිත ප්‍රකාශණයක් සුළු කිරීමට හැති ඉලෙක්ට්‍රොනික් පර්පතයක් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙන්සකස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙ සංඛ්‍යාංක ඉ. වි. කියන ‍ක්ශේත්‍රය ගොඩක් ජනප්‍රිය උනේ. අන්ත එක ඉලෙක්ට්‍රොන්ක් දැනුමක් නැත්ව බූලියන් ගණීතය පිළිබඳ දැනුමකින් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් පරිපත සකස් කරන්නත් පුළුවන්.

අද මේ ලිපියෙන් ඔබට සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳ හැකි උපරිම සරලව කියා දීමට උත්සාහ ගතිමි. මෙම උත්සාහය වඩාත් නිවැරදි විද්‍යාත්මක දැනුම තහවුරු කිරීමට නොවන අතර මෙම විෂය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීමට පමණි. මීලඟ කොටස ...ඉඩක්ලැබුනු වහාම

Wednesday, March 3, 2010

සංක්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගෙන ගන්න කැමතිද?

පරිගණක යන්ත්‍රය නිර්මාණයට පාදක වූ තාක්ෂණය වන සංක්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළීබද මුල සිට පැහැදිලි කෙරනෙ ලිපි පෙලක් දැමීම ප්‍රයෝජනයත් දැයි දැනගැනීමට මෙම ලිපිය ඇතුල් කරමි.

මෙවැනි ලිපි පෙළක් සැපයීම සදහා තරමක් වැඩිපුර මහන්සි වීමටත් සැළසුම් කිරීමටත් සිදු වන බැවින් එය බොහෝ දෙනාට ප්‍රයෝජනයත් නොවන්නේනම් එම කැප කිරීමෙන් ප්‍රතිපලයක් නැති වෙයි. එම නිසා ඒ පිළිබද නිවැරදි තොරතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමි.

සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙදී හමුවන Logis Gates, වෙළදපොලේ ඇති Logic Gates අඩංගු සංගෘහිත පරිපත වර්ග, Logic Gates භාවිතා කොට නිපදවා ඇති Filp Flop, Registers, Counters, Deviders, SSD Drives, Decaders, Converets, Microprocessors ආදියත් එම සංගෘහිත පරිපත යොදාගෙන සකස් කළ හැකි තර්ක පරිපත ගැනත් ඉගෙනීමට අත්වැලක් ලෙස මෙම ලිපි පෙළ සකස් කිරීමට බළාපොරොත්තු වෙමි. එයට ඔබේ අදහස් අගය කරමි.

Tuesday, March 2, 2010

පෙන් ඩ්රයිව් එකට වෛරස් එන එකට......

මුලින්ම කියන්න ඕන මේක සියයට සියයක්ම නිවැරදි ක්‍රමයක් නම් නෙවි. ඒ වගේම ඉතා ගැඹුරු තාක්ෂණික පසුබිමක් තියන ක්‍රමයකුත් නෙවෙයි. ඒත් නොදන්න කමටයි නැති කමටයි ජාමෙ බේරගන්න පුළුවන් පොඩි ගැජමැටික් වැඩක්.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ තියන ලොකුම ගැටළුවක් තමයි Autoplay Feature එක. ඒ කියන්නෙ සීඩී එකක් දැම්මම හරි පෙන් එකක් ගැහුවම හරි ඒකෙ Root Directory එක ස්වයංක්‍රීයව කියවල එතන Autorun.inf කියන File එකක් තියනවනම් ඒ File එකේ තියන උ‍පදෙස් අනුව යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන එක. වින්ඩෝස් වල අපේ පහසුව ගැන හතල දීපු මේ පහසුකම මගින් ගොඩක් වෙලාවට පරිගණක වෛරස පැතිරී යනවා.

එක වෙන්නෙ අපි අපේ පෙන් එකක් ගැහුවම වෛරස් වැඩසටහන පෙන් එකට ‍ස්වයංක්‍රීයව පිටපත් වෙනවා. එම වෛරස් වැඩසටහන ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙන්න පෙන් එකේ වෛරස් එක මගින්ම Autorun.inf File එකක් සකස් කරනව. ඊට පස්සෙ ඒ පෙන් එක අපි වෙන පරිගණකයක ගහපු ගමන් වින්ඩෝස් වලින් ස්වයංක්‍රීයව Autorun.inf File එක කියවල ඒකෙ තියන උදෙස් අනුව වෛරස් වැඩ සටහන ක්‍රියාත්මක කරනව. ඒ වෛරස් වැඩසටහන මගින් පෙන් එකේ තියන වෛරස් වැඩසටහන මකන්න දෙන්නෙත් නෑ. Hard Disk එකටත් වෛරස් වැඩසටහන පිටපත් කරනවා. පරිගණක මතකයේ රැඳී සිටිමින් වෙන්ත පෙන් එක්ක ගැහුවම ඒකටත් වෛරස් එක පිටපත් කරනවා. ඒ වගේම මේ ක්‍රමයට පැතිරෙන වෛරස් වින්ඩෝස් වල සමහර Settings වෙනස් කරල අපිට යම් යම් ගැටළු ඇති කරනවා.

වෛරස් එකේ ක්‍රියාව පටන් ගන්නෙ Autorun.inf File එක ලිවීමෙන්. ඒ නිසා අපිට ඒ File එක ලියන එක නවත්වන්න පුළුවන් නම් මේ ක්‍රමයට පැතිරෙන වෛරස් ව්‍යාප්ත වීම නවත්තන්න පුළුවන්. ඒකට අපි කරන්නෙ පෙන් එකේ Root Directery එක (ඒ කියන්නේ පෙන් එක මත ඩබල් ක්ලික් කරල ඕපන් කර ගමන් පෙන්ව Folder එක) ඇතුලේ Autorun.inf නමින් Folder එකක් හදල ඒකට Read Only, Hidden කියන Attributes දෙක දාන එක.

මේහෙම Folder එකක් හැදුවම වෙන්නෙ වෛරස් වැඩසටහන මගින් පෙන් එකට වෛරස් එක පිටපත් කළාට ඒක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරවන Autorun.inf File එක් සකස් කරන්න බැරුව යනවා. මොකද අපි හදපු Folder එක තියන නිසා. එක නමින් File/Folder දෙකක් තියන්න බැරි නිසා වෛරස් එකට එයාගෙ Autorun.inf File එක හදන්න බැරුව යනවා. එතකොට වෛරස් එක පෙන් එකේ තිබුනට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා අපිට පෙන් එක් බලල වෛරස් වැඩසටහන මකල දාන්න පුළුවන්.

Autorun.inf File එක මගින් ව්‍යාප්ත වන විදියට හදල තියන වෛරස් පැතිරී යාම ඉහත ගොඩවෙදකම මගින වලක්වා ගන්න පුළුවන්. ඔබත් කරල බලන්න. අදහසුත් දක්වන්න.

Saturday, February 27, 2010

මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයෙන් එහා... (තුන්වන කොටස)

මේ ලිපිය කියවන්න කලිං මීට කලින් දාපු කොටස් දෙක කියවල ඉන්නවනං තේරුං ගන්න පහසු වේවි. ඒ කොටස් වලට යන්න නම් මෙතනට කොටන්න.


පරිගණකය විවිධ කටයුතු වලට භාවිතා කරන්න පුළුවන් උනත් ඒක පුචලික වීම අඩු වෙන්න බලපාන හේතුවක් තමයි භාවිතා කරන කෙනාට විශේෂයෙන් පරිගණකය හසුරුවන්න ඉගෙන ගන්න වෙන එක. මේ ටච් ස්ක්‍රීන් එකේදිත් ඒ සඳහා භාවිතා කරන විශේෂ පෑනක් වගේ උපකරණය භාවිතය පුහුණු වෙන්න ඕන. ඒක ගොඩක් සරල උනාට සමහර අය මේ වගේ අළුත් උපකරණ දැක්කහම බය වෙනවනේ . ඒක නිසා විද්‍යාඥයො උත්සාහ කරා මේ තාක්ෂණය පුළුවන් තරම් සරල විදියට පාරිභෝගිකය අතට පත් කරන්න. ඒ අනුව ඔවුන් මම අර කලින් කයපු විශේෂ විද්යුත් චුම්බක තරංග වෙනුවට ආලෝක තරංග භාවිතා කරන්න පුළුවන්ද කියල උත්සාහ කරල බැලුව.

ආලෝක තරංග නැත්නම් සාමාන්‍ය ආලොක කිරණ, තවත් විදියකින් කියනවනම් ආලෝකයට සංවේදී වන පරිගණකය සතු උපකරණ දෙක තමයි කැමරාව සහ ස්කෑනරය. එයිනුත් ස්වාභාවික ආලෝකයට සංවේදී වෙන්නෙ කැමරාව. ඉතිං පරිගණක විද්‍යාඥයින් අදහස් කළා සාමාන්‍ය විදියට අතකින් කරන සලකුණු කිරීමක් හරි ඇඟිල්ලකින් කරන ඇඳීමක් හරි පරිගණකයට හඳුනාගැනීමට හැකි වන පරිදි තාක්ෂණය දියුණු කරන්න.

එහිදී කරන්නෙ කැමරාවකින් ආදානය කරන (Input) පින්තූර පෙළක් සන්සන්දනය කරල ඒ පින්තූර පෙලෙහි තියන පිහිටීම වෙනස් වන වස්තූන් හඳුනා ගන්න එක. නිශ්චල පසුබිමක අතේ ඇඟිල්ලක් භාවිතා කරල ඇන්දහම ඇඟිල්ලෙ හිපිටීම එක් එක් රූප රාමුවෙදි වෙනස් වෙනව. ඒක වනස් වීම් මාරිගය ඇඳීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න නම් ජය ගන්න ඕන අභියෝග දෙකක තියනව. පළවෙන් එක තමයි තත්පරයක් තුළ විශාල දත්ත ප්‍රමාණයක් පරික්ෂා කර බැලීමට සිදු වෙනව අදාල චලනය හඳුනාගන්න. එම අභියෝගය දැන් වෙළඳපොලට පැමිණ තිබෙන නූතන පරිගණක ජයගෙන තිබෙනවා. ඒ‍වායේ දත්ත දැකසුම් වේගය ඉතා ඉහල නිසා එම අභියෝගය ජයගෙන තිබෙනවා.

දෙවන අභියෝගය තමයි පසුබිමෙන් චලනය වන වස්තුව හඳුනා ගැනීම. මේ සඳහා වර්ණ භාවිතා කළ හැකියි. ඒත් අපි අතේ ඇඟිල්ලකින් යමක් අඳිනකොට අල්ල සහ අතේ අග කොටස (මැනික්කටුව ප්‍රදේශය) ත් චලනය වෙනව. ඒ නිසා පරිගණකයට පැහැදිලිව අඳුනගන්න බැහැ ඇඟිල්ලෙ තුඩයි, ඇඟිල්ලෙ මැද හරියයි. මොකද මේ ස්ථාන දෙකෙ පාට වල ඒ තරම් වෙනසක් නැති නිසා. ඒකට විසඳුමක් විදියට පරිගණක තිරයේ ඇති විධානයන් තෝරාගැනීම, සාමාන්‍ය අතින් ඇඳීම වැනි ක්‍රියා සිදු කරන කොට ඇගිල්ලෙ තුඩ හඳුනාගන්න ඇඟිලි තුඩ විශේෂ වර්ණයකින් වර්ණ ගන්නවනව. එතකොට පරිගණක කැමරාවෙ සටහන් වෙන ඒ විශේෂ වර්ණ පැල්ලම නැත්නම් ඇඟිල්ලේ තුඩ ගමන් කරන මාර්ගය පරිගණකයට පහසුවෙන් හඳුනාගත හැකියි.

දැනට අපි මවුස් එක භාවිතා කරල පරිගණ මතකයේ ඇති කණ්ඩාංක තලයක් මත ඇඳපු වස්තූන් විවිධ වෙනස් කම් වලට ලක් කරණව. ඉදිරියේදි ඉහත කී තාක්ෂණය උපයෝගී කරගෙන පරිගණකය මගින් ප්‍රක්ශේපණය කරල ලද රූපයක තියන විවිධ වස්තූන් වල වෙනස් කම් අතේ ඇඟිලි වලින් අල්ල සිදු කරන්න පුළුවන් විදියේ පරිගණක වෙළඳපොලට ඒවි. ඒ පිළිබඳ මූලික පර්යේෂණ දැන් වෙනකොටත් අවසන් කරල හමාරයි. ආරංචියෙ හැටියට නම් මේ නව තාක්ෂණය විවෘත්ත හා නිදහස් මෘදුකාංගයක් විදියට තමයි දොරට වඩින්න ඉන්නෙ. එහෙම උනොත් නම් කාට කාටත් තමන්ගෙ අතේ ඇඟිලි වලින් වැඩ ගන්න පුළුවන් වේවි. ඒ සම්බන්ධ අළුත්ම තොරතු මේ වීඩියො පටයෙ තියනව. මේක මම මෙතනට ගෙනල්ල එබුවෙ http://video.ted.com/talks/dynamic/PranavMistry_2009I-medium.flv කියන අන්තර්ජාල සම්බන්ධතාවයෙන්. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මෙතනට කොටන්න

Tuesday, February 23, 2010

මම නං හොරෙක් නෙවෙයි...

මම මේ බ්ලොග් එක හදන්න භාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ හොර කොපියක් එහෙම නෙවෙයි. ආඩම්බරෙන් කියන්න කැමතියි මම යොදාගන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සහ ඒ සමග ලබා දෙන නිදහස් මෘදුකාංග. සාමාන්‍ය ලිපි ලේකන කටයුතු වලට Open Office මෘදුකාංග කට්ටලය. පින්තූර වලට හැඩ වැඩ දාන්න GIMP Image Editor. අන්තිමට ජාලගත කරන්න ගිනිනරියා ජාල අතිරික්සුව. ඒ කියන්නෙ ලොව වැඩියෙන්ම භාවිතා වන Browser එක වන Mozilla Firefox Internet Browser එක.

හැබැයි ඉතිං ගෙදර තියන පරිගණක විද්‍යාගාරයෙදි විතරයි මේ වැඩ. කොහේ හරි ගෙදරින් පිට ඉදලා ලියනකොට නම් ඉතිං ......................

මේ බලන්න මගේ කබල් පරිගණකයේ මේ වැඩසටහන් හොදට වැඩ කරන හැටි. (කබල් කිව්වේ මෙකේ වේගය 2.66 MHz, Ram එක 512 MB)